fbpx
තවත්
    මුල් පිටුවspecialනොබැදි ජාතීන්ගේ දිනය - 2021

    නොබැදි ජාතීන්ගේ දිනය – 2021

    ඒ 1949 වසරයි. දහස් ගණනකට මරු කැදවා ලක්ෂ ගණනක් ආබාධිතයින් බවට පත් කළ දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් ලෝකය කෙමෙන් සුව වෙමින් සිටි කාලයයි ඒ. එවකට සිටි ලෝක බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අලුත්ම සීතල යුද්ධයක ආතතියක් වර්ධනය වෙමින් තිබුණි. තරඟකාරී මතවාද දෙකක් වූ බටහිර ලිබරල් ධනවාදය සහ නැගෙනහිර මාක්ස්වාදී කොමියුනිස්ට්වාදය යන අදහස් දෙක අගය කරන රටවල් දෙපිළට බෙදීගෙන සීතල යුද්ධයට මාන බලමින් සිටියහ. යුද්ධය සීතල වූයේ කිසිම රටක් අනෙකාට එරෙහිව සර්ව සම්පූර්ණ යුද්ධයක් ප්‍රකාශ නොකළ බැවිනි. වසර ගණනකට පසු අවසානයේ එක්සත් ජනපදය සහ එහි බටහිර සගයන් NATO සංවිධානයටත්, සෝවියට් සංගමය සහ එහි ආධාරකරුවන් වෝර්සෝ ගිවිසුමටත් සහාය දැක්විය. ලෝකය නැවතත් නිල වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදුණි.

    නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය උපත ලැබුවේ මෑතකදී යටත් විජිතකරණය වූ සහ නොදියුණු වූ රටවල් වලට මෙම බල කදවුරු වලට සම්බන්ධ නොවීමට තිබුණු අවශ්‍යතාවය නිසාය. බලවතුන් අතර අරගලයේ සාමාජික රටවල් අතකොලු බවට පත් නොවන ලෙස ලෝක දේශපාලනය තුළ ස්වාධීන මාවතක් නිර්මාණය කිරීම නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ අරමුණ විය. 1961 බෙල්ග්‍රේඩ් හි නොබැදි ජාතීන්ගේ ආරම්භක සමුළුව පැවති නමුත් ඊට මූලික අඩිතාලම සැකසුණේ 1955 දී ඉන්දුනීසියාවේ පැවති ආසියා-අප්‍රිකානු Bandung සමුළුවේදී එවකට යුගෝස්ලාවියානු ජනාධිපති ජෝසිප් බ්‍රෝස් ටයිටෝගේ මූලිකත්වයෙනි. අද වන විට මුළු අප්‍රිකාවම, ආසියාවේ වැඩි කොටසක්, ලතින් ඇමරිකාව ඇතුලු රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් 2/3ක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.

    Non-Aligned Movement - Wikipedia
    නොබැදි ජාතීන්

    නොබැදි ජාතීන්ගේ සංවිධානයේ මූලික ප්‍රතිපත්ති තුළින් සාමය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ගෝලීය සංස්කෘතියක් සඳහා වූ දැක්මක් පිළිබිඹු වේ. “Bandung principles” ලෙස හදුන්වන එම ප්‍රතිපත්ති පහත පරිදි වේ.

    • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයෙහි සඳහන් මානව හිමිකම් සම්බන්ධ මූලික අරමුණු සහ ප්‍රතිපත්ති වලට ගරුකිරීම.
    • සියළුම ජාතීන්ගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
    • ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් වූ ව්‍යාපාරයන්ට පිළිගැනීම ලබා දීම.
    • ලොකු කුඩා සියළු ජාතීන් හා පුද්ගලයන් අතර සමානාත්මතාවය පිළිගැනීම.
    • වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කරුණු කෙරෙහි ඇඟිලි ගැසීමෙන් හෝ මැදිහත්වීමෙන් හෝ වැළකීම.
    • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, තනිවම හෝ සාමූහිකව යම් රාජ්‍යයකට තම ජාතිය රැකගැනීමේ ඇති අයිතියට ගරුකිරීම.
    • ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලනික ස්වාධීනත්වයට එරෙහිව, අනිසි බලය භාවිතය/ ආක්‍රමණයන් සිදුකිරීම හෝ එවැනි තර්ජන එල්ල කිරීමෙන් වැළකීම.
    • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, ජාත්‍යන්තර වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කිරීම.
    • අන්‍යෝන්‍ය අභිරුචියන් සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.
    • සාධාරණත්වය සහ ජාත්‍යන්තර වගකීම්වලට ගරු කිරීම.

    Non-Aligned Movement Online Summit 'United Against COVID-19'

    තුන්වන ලෝකයේ නිදහස සඳහා අරගල කරමින් සිටි රටවලට සහයෝගය දැක්වීමේදී නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර සීතල යුද්ධය උත්සන්න වීමත් සමඟ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සම්බන්ධීකරණ සංසදයක් බවට පත් වූ අතර එමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා සිටීමට අවකාශ සැලසිණි.

    කෙසේ වෙතත්, 1980 දශකයේ අගභාගයේදී සෝවියට් සංගමය බිඳවැටීම නොබැදි ව්‍යාපාරයේ අදාළතාවයට තර්ජනයක් විය. එතෙක් පැවති බල කදවුරු අතර අරගලය නිමාවී, ධනවාදී ඇමරිකා එක්සත් ජනපදය නව ලෝක බලවතා ලෙස නැගී සිටීම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ අවසානයේ ආරම්භය ලෙස සමහරු දුටුවෝය. එපමණක් නොව, ඉරානය, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ සුඩානය වැනි ආවේගශීලී ප්‍රතිපත්ති අනුගමනය කළ රටවල් නොබැදි ව්‍යාපාරයට එක් වීමද, ව්‍යාපාරයේ තේමාව වූ “සාමය හා තිරසාර සංවර්ධනය” රැකගැනීමට අහිතකර ලෙස බලපෑවේය.

    විවිධාකාරයේ හැලහැප්පීම් මධ්‍යයේ නොබැදි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සමුළු වාර 17ක් පවත්වා ඇති අතර අවසන් වරට එම සමුලුව පැවැත්වූයේ 2015 වෙනිසියුලාවේ දීය. නොබැඳි ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය, සංවිධානය ආරම්භ වූ යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ්හීදී 2011 වසරේ සමරනු ලැබිණි.

    වර්ථමානයේ ගෙවී යන්නේ වෙන කවරදාටත් වඩා ජාත්‍යන්තර ප්‍රජාව වසංගත බලපෑම්, ත්‍රස්තවාදය, ආගමික මූලධර්මවාදය, සංස්කෘතික ගැටුම් සහ දහසකුත් එකක් පීඩා මධ්‍යයේ අතර අවතැන් වන කාල පරිච්ඡේදයකි. නොබැදි ව්‍යාපාරයේ සාමය සහ සමගිය පිළිබඳ දර්ශනය තුළ මුල් බැස ගත් ප්‍රතිපත්ති හරහා, එවන් ගෝලීය ගැටලු වලට සාර්ථකව ආමන්ත්‍රණය කළ හැකිය. ජාතීන් අතර අන්‍යෝන්‍ය ගෞරවය හා සහයෝගීතාවය මත පදනම් වූ ලෝකයක් තැනිය හැකිය. සමාජ සාධාරණත්වය රජයන ලෝකයක් කරා යන ගමනේ නොබැදි ජාතීන්ට ඉටු කිරීමට ඇති වගකීම අතිමහත් ය.

    වැඩිදුර තොරතුරු – https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A_%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA

    රුසිර සත්නිඳු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.