fbpx
තවත්
    මුල් පිටුවspecialමැණිකේ මගේ හිතේ හැදූ අලුත් ට්‍රෙන්ඩ් එක

    මැණිකේ මගේ හිතේ හැදූ අලුත් ට්‍රෙන්ඩ් එක

    මේ අවස්ථාව වන විට, යොවුන් ගායිකා යොහානි ද සිල්වා සමග සතීෂාන් රත්නායක ගයන “මැණිකේ මගේ හිතේ”  ගීතය “viral වීඩියෝවක් ලෙස” ඉන්දියාව ඇතුළු ලොව පුරා සංගීත රසිකයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත.

    යොහානිගේ යූටියුබ් නාලිකාව (Yohani) හරහා පමණක් එම ගීතය,  2021.08.23 මධ්‍යම රාත්‍රිය අවසන් වනවිට,  ප්‍රේක්ෂක නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 53.7 කට අධික වී ඇත.

    එමෙන්ම, සතීෂාන් සහ දුලාන් ARX ගැයූ මුල් යූටියුබ් ගීත වීඩියෝව ඔවුන්ගේ නාලිකාවේ (Aryan Music) අද උදෑසන වන විට නැරඹුම් වාර මිලියන 14 ක් ඉක්මවා ඇත.  මුල් වීඩියෝවට අමතරව විවිධ භාෂා රැසකින් සහ විවිධ ක්‍රමෝපායන් මගින් ප්‍රකාශිත “මැණික මගේ සිතේ” පදනම්ව සෑදූ  වීඩියෝ හැත්තෑවක් ආශ්‍රිතව ලියුම්කරු විසින් 2021.08.23 දිනය තුල සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, ඉන් යූටියුබ් නාලිකා අටක්  මිලියනයකට අධික නැරඹුම් වාර සහිත (මිලියන 1.5 සිට මිලියන 20)  බව සොයාගත හැකිවිය. මෙයින් ටෙඩී ගුප්තා (KDspuNKY youtube නාලිකාවේ ) ප්‍රමුඛ ස්ථානයක සිටී. එලෙසටම battle songs official  යූ ටියුබ් නාලිකාව, විවිධ ගායකයින් කිහිප දෙනෙක් සමග යොහානි ගයන coverup වීඩියෝ තුලින් තම ඉදිරිපත් කිරීම  සිදුකරන අතර  නැරඹුම් වාර සංඛ්‍යාව අතරින් ඉදිරියෙන්ම සිටින යූටියුබ් නාලිකාවකි.

    මේ මගින් අප හට තේරුම් යන්නේ යොහානි සහ සතීශාන් විසින් ඇති කළ රැල්ල අද ලොව පුරා ම ගමන් කර ඇති බවයි. ඔවුන් රැල්ලෙන් දිය දෝතක් ගන්නා විවිධ ආකාර‍යේ youtube channel සහ ගායකයින් රාශියක් වෙති.  අද යොහානි මෙන්ම සතිෂාන් ලොවම හෙල්ලූ සන්නාමයක් (Global brand) වී ඇත.  එලෙසටම, බොහෝ නව youtube නාළිකා රැල්ලක් එනිසාම ඇති වී ඇත.

    හින්දි චිත්‍රපටි පුරාවෘත්තයක් (Hindi actor and legend) වන අමිතාබ් බච්චන් “මැණිකේ මගේ සිතේ” ගීතයට  රඟන වීඩියෝවක් ඔහුගේ “කාලියා” චිත්‍රපටය ඇසුරෙන්  ඔහුගේ මිනිපිරිය වන  “නව්‍යා නවේලි” විසින් සකසා අන්තර් ජාලයට එක් කිරීමෙන්ද, සහ  අමිතාබ් බච්චන් ගේ නිල ට්විටර් ගිණුමේ ඔහු යෙදූ සටහනක් හේතුවෙන්ද,  මෙම ගීතය viral ලෙස  ඉන්දියාව තුළ ජනප්‍රිය  විය. එමෙන්ම,  ජනප්‍රිය BTS කණ්ඩායම මෙම ගීතයට සැකසූ රියැක්ෂන් වීඩියෝවක්ද අන්තර්ජාලයේ දැකිය හැක. AshiBro YouTube නාලිකාව තුලින් ලක්ෂ පහකට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් BTS reaction වීඩියෝවට ලැබී ඇත.

    යොහානි සහ සතීශාන් තම ගායන හැකියාවෙන්  සිංහල ගීතයක් ලෝකයේ ජනප්‍රියම  ගීතය බවට  පත් කිරීමට උත්සාහ ගැනීම  ඉතාමත්ම අගනේය. අද විවිධ භාෂාවන් රාශියකින් සහ උදාර ජයසේකර විසින් නිර්මාණය කළ “ගැට බෙර වාදනයෙන්”  ඔපවත් වූ තවත් යූටියුබ් වීඩියෝවක් අපහට හමු විය.

    සිංහල ගීතයකින් ලොව දික්විජයට කැප වූ යොහානි ඇතුළු  සියළුම දෙනාට අප සැම උණුසුම්  සුබ පැතුම් පළ කළ යුතුය. එමෙන්ම Spotify හි ප්‍රධාන viral 50 අතරින් දෙවන ස්ථානය යොහානිගේ මෙම ගීතමය වීඩියෝවට හිමි වී ඇත.

    සංගීත ලොවම කැළඹූ “මැණිකේ  මගේ හිතේ” Youtube වීඩියෝවේ නිර්මාපකයන් කවුද ?

    මුල්ම ගීතය නිර්මාණය කරනු ලැබුවේ දුලංජ අල්විස් (Dulan ARX) ගේ  මනරම් පද රචනයකින් ද, චමත් සංගීත් ගේ  සංගීත රචනයෙන් ද, දුලාන් ARX සහ සතීශාන් රත්නායක ගේ හඬිනි. මුල් ගීතයේ රැප් කොටස දුලාන් විසින් කළ බව පැවසේ.

    දුලාන් ARX
    සතීශන්
    චමත් සංගීත්

    පසුව මුල් ගීතයේ නිර්මාපකයන් එක්ව  තීරණය කොට ගීතයේ කවරප් (coverup) version එකක් කිරීමට යොහානිට ආරාධනා කළහ. නව වීඩියෝවේ අධ්‍යක්ෂවරයා පසිඳු කෞශල්‍ය වේ.

    තම ස්වෝත්සාහයෙන් mushup (මෂප්) සහ කවරප් (coverup) සංගීතය ඉදිරියට ගෙන යන “අනන්‍ය කාන්තා කටහඬක්” සහිත, යොහානි හට වේගයෙන් අප රට ලොව වෙත තවදුරටත්   ගෙන යා හැක. ඇගේ හුරතල් පෙනුම, ඇගේ වෙනස්ම විලාසිතා ආකාර හේතුවෙන් ඇය සිදු කළ බොහෝමයක් වීඩියෝ සහ ගීත ප්‍රේක්ෂකයන් වැළඳ ගත්හ. ඇයට ශක්තිමත් සහ දිගු සංගීතමය අනාගතයක් පවතින බව අප හට මනාව පෙනී යයි.

    කවුද යොහානි?

    විශිෂ්ට රණ විරුවකු වන විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වාගේ වැඩිමහල් දියණිය වන ඇය “සැපයුම්දාම කළමනාකරණය” පිළිබඳ ප්‍රථම උපාධියක් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයෙන් ද, ඔස්ට්‍රේලියානු සරසවියකින් ගිණුම්කරණය පිළිබඳ ප්‍රථම පන්ති (First class) පශ්චාත් උපාධිය ලබාගත් දක්ෂ යුවතියකි. ඇය ඡායාරූපකරණය, සංගීතය යන ක්ෂේත්‍රයන් උත්සාහයෙන් ඉගෙනගෙන එහි දක්ෂතා පෙන්නුම් කල යුවතියකි. ඇය විසින් වරක් ප්‍රකාශ කර ඇත්තේ ඇගේ සංගීත ගමන විවිධාකාරවූ අභියෝග හමුවේ දිරිමත්ව ඉදිරියට ආ බවයි. සමාජය විසින් ඇයව අපහසුතාවයට පත් කරන සෑම අවස්ථාවකදීම සුපුරුදු සිනාවෙන් සහ උපේක්ශාවෙන් ඒ දෙස බැලූ ඇය එයින් මනා ජීවන පන්නරයක් ලබා ගත්තාය.  සමාජයේ බොහෝ දෙනෙකු තුළ අද දැකිය නොහැකි නිහතමානීත්වයත්, කණ්ඩායම් හැඟීමෙන් යුතුව දිරියෙන් කටයුතු කිරීමේ මහඟු ගුණාංගයත් ඇගේ දියුණුවේ රහසයි.

    සමාජ ජාල ආර්ථිකය ලොවේ අනාගතයයි

    රසික ජයකොඩි මහතා මුහුණු පොතේ සටහන් කර ඇත්තේ, “අනාගත ලෝකයේ ඉතා ඉහළ ඉපැයීම් හැකියාවක් හිමිවන්නේ අනන්‍ය හැකියාවන් (unique skills) සහ නිර්මාණශීලිත්වය (creativity) තිබෙන මිනිසුන්ටය”. අනාදිමත් කාලයක සිට හොදින් මුදල් ඉපයීමට නම්, ‘විධිමත් අධ්‍යාපනය අවශ්‍යයි’ කියන අපගේ පාරම්පරික මතය  එළඹෙන දශකය  ඇතුළත සෑහෙන දුරට ප්‍රතික්ෂේප වන බව පැහැදිලියි” ලෙස ඔහු තර්කයක් ඉදිරිපත් කරයි.

    අනන්‍ය හැකියාව පිළිබඳව ජයකොඩි මහතා තවදුරටත් පවසන්නේ “මේ විදියට ඕනෑම ක්ෂේත්‍රයක තම අනන්‍ය හැකියාවන් භාවිතයෙන් වෙන කවුරුත් ම නොකරන දේවල් කරන අයට, වෙන කවුරුත් ම නොහදන දේවල් හදන අයට වෙළෙඳපොළ ඇතුළේ ඉහළ වටිනාකමක් හිමිවෙනවා.  ඒ නිසා  විධිමත් අධ්‍යාපනයට ලැබී තිබුණු තැන, ‘අනන්‍ය හැකියාවට’ ලබා දෙන්න සමාජය විසින් පටන් ගන්නවා.” ලෙසය.  යොහානි සහ සතිෂාන් වැනි නව පරපුර තම අනන්‍ය හැකියාවෙන් විපුල ප්‍රයෝජන ගන්නා බව නොරහසකි.

    ශ්‍රී ලංකා විවෘත  විශ්වවිද්‍යාලයයේ අලෙවිකරණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, මහාචාර්ය නලින් අබේසේකර තම මුහුණු පොතට ප්‍රකාශ කරනු ලැබුයේ

    ” දැනට  වසර 9 කට කලින් ප්‍රසිද්ධ වුණු, ධනුෂ්ගෙ ‘වයි දිස් කොලවරි’ සින්දුව, ඒ කාලයේ වයිරල් මාර්කටින් වල ජනප්‍රියම මාතෘකාවක්. සින්දුව හරිම සරල, ජනප්‍රිය රාමුවක තිබුණේ හරියට ‘මැණිකේ මගේ හිතේ’ සින්දුව වගේමයි කියලා මම කියන්නේ නෑ, නමුත් එකම රාමුවේ වුනත් නව ගීතය නිර්මාණශීලිත්වයෙන් අනූනයි.”

    මහාචාර්ය අබේසේකර තවදුරටත් පවසන්නේ,
    “ඒ කාලේ ඉන්දියාවෙ විශ්ව විද්‍යාල වල සහ උසස් අධ්‍යාපන ආයතන වල  මහාචාර්යවරු  ආඩම්බරයෙන් අලෙවිකරණයට, කලමණාකරණයට අදාලව සිසුන් සමග ධනුෂ්ගේ “වයි දිස් කොලවරි” ගීතය  සාකච්ඡා කළා. ඒ ගැන ඔවුන් සෑහෙන ආඩම්බර වුණා. මොකද ලෝකයේම viral marketing වල ඒ දවස්වල (2011 දී) ධනුෂ්ගේ ‘වයි දිස් කොලවරි ඩී’ Hit එකක්  වුනා” ලෙසය.

    ළහිරු පෙරේරා එම කාලයේම, ගැයූ “රම්බරි” සින්දුව ගැන විද්වතුන් කියලා ශ්‍රී ලංකාවේ  හිතාගෙන ඉන්න කට්ටිය, ළහිරුව පහළට දැමීමට පත්තර වල කොලම් ගනන් වියදම් කරමින් විවේචනය කළ බව තවදුරටත්  මහාචාර්ය තුමා ප්‍රකාශ කරයි.

    ගොඩනැංවුම් විවේචනය (constructive criticism) වෙනුවට, විනාශකාරී විවේචනය (destructive criticism) අපේ ජාන වලට කා වැදී ඇති නිසාද,  පාරම්පරිකව ශරීරයේ ඔඩු දුවන කුහකකම හින්දද මන්දා, ශ්‍රී ලාංකික විද්වතුන් එසේ කටයුතු කළහ.

    මහාචාර්යතුමා යොහානිට සහ සතීෂාන්ට සිය උණුසුම් සුභාශිංශනය පළ කරමින් කියා සිටින්නේ,

    “මේ සින්දුව ලංකාව ඉන්දියාව ඇතුලු ලෝකය තුළ ජනප්‍රිය වීම ශ්‍රී ලංකා සමාජය විශ්වීය ලෙස දකින්න ඕන වගේම ඔවුන්ගේ   ටැලන්ට් එකට ගරු කරන්න, නවකයින් අභිප්‍රේරණය කරන්න, උනන්දු කරන්න, වෙනස් විදියට හිතන්න” යනුවෙනි .

    මේ කාලයේ තවත්  viral ව සමාජ මාධ්‍යයේ පැතිර යන ශෂී නිශාදි විසින්  ඇයට ඇගේ ප්‍රේක්ෂකයින් ගෙන් (“සඳරු අයියා වැනි) game online streaming  හරහා තරු (stars) ලැබෙන විට සිදු කරන,  ඇයට අනන්‍ය නිර්මාණශීලී  නැටුම බොහෝ දෙනා විසින් විවේචනය කරති. ඒ සඳහා  පහත සඳහන් හේතු ඔවුන් දක්වති.

    1. ඇයට  තරු ලැබීමේදී ඇය හැසිරෙන ආකාරයත්, එවිට සිදුකරන නැටුම  සරාගී සහ ශ්‍රී ලාංකීය සදාචාරයට නුසුදුසු බවය.

    2.  ඇගේ game online streaming ව්‍යාපාරය ඇයට පෞද්ගලික වාසි තිබුනත් රටේ විදේශ විනිමයට අහිතකර බවත් ය.

    ශෂී නිශාදි

    යමක් කිරීමේදී විවේචනය කිරීමට බොහෝ දෙනා පෙනී  සිටින්නෝය. එය ලෝක සත්‍යයකි.

    ඉදිරියේදී යොහානි සහ ශෂී නිශාදි සඳහා තවත් අනුගාමීන් ශ්‍රී ලංකාවේ ඇති වනු ඇත. එහෙත් සියළුම අන්තර්ජාලය සහ සමාජ ජාලා ආශ්‍රිත ව්‍යාපාර සිදුකිරීමේදී නිර්මාණශීලීත්වය,  නම්‍යශීලිත්වය, දේශීය සහ ගෝලීය සදාචාරාත්මක මිනුම්දඬු ගැන  සැවොම  සැලකිලිමත් විය යුතුය. යම් සදාචාර විරෝධී සහ නීති විරෝධී කටයුතු සිදුවන්නේ නම් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවිය යුතුය. එලෙසටම නිර්මාණ ශිල්පීන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සියලු දෙනාම එක සේ සිතිය යුතුය, ඒ වෙනුවෙන්ම කටයුතු කළ යුතුය.

    සමාජ මාධ්‍ය පදනම් වූ ආර්ථිකය යනු කුමක්ද?

    සමාජ මාධ්‍ය භාවිතයෙන් ආර්ථිකමය වාසි ලබාගන්නා වූ බොහෝ පිරිසක් ලංකාව තුළත් ලෝකය තුළත් සිටිති. බ්ලොග් (bloggers) කරුවන් සහ ව්ලොග්කරුවන් (vloggers) රැසක් ශ්‍රී ලංකාව තුළ සිටිති. ඔවුන් එයින් අධික ලාභ ලබා ගනිති. එය ඔවුන්ගේ අනන්‍ය කුසලතාවයන් නිසි ලෙස මිල කිරීම හරහාය. ව්ලොග්කරුවන් අතර “නිලමේ” ඉතාමත් වැදගත් කාර්යභාරයක් සිදුකරන කණ්ඩායමකි. ලංකාවේ නව නිර්මාණ සහ විවිධ නිෂ්පාදන ජනතාව වෙත දැනුවත් කිරීම “නිලමේ” කණ්ඩායමේ ක්‍රියාදාමයයි. ඔවුන්ටම අනන්‍යවූ  ක්‍රමවේදයක් මගින්  තම හැකියාව youtube හරහා ඔවුන් මිල කරති.

    බොහොමයක් Youtubers ලා වෙළද දැන්වීම් හරහා යම් ආදායමක් ලබාගන්නා අතර, යූ ටියුබ් views හරහා ද සැලකිය යුතු ආදායමක් ලබා ගනිති. අන්තර්ජාලයේ දක්වා ඇති දත්ත අනුව views 1000 කට සාමාන්‍යයෙන් ඩොලර් 18 ක් පමණ අද ආදායමක්  ලබා ගනිති. එම මුදල විවිධ හේතූන් මත වෙනස් විය හැක. Spotify streamings හරහා නිර්මාණ ශිල්පියකුට තමප්‍රේක්ෂක නැරඹුම් වාර දහසකට ඩොලර් 3-5 අතුරු ප්‍රමාණයක් ගෙවනු ලැබේ.

    Facebook online game streaming  හරහා තරු ලබාගැනීමේදී එක තරුවක් සඳහා ඩොලර් 0.01 ක් සඳහා එනම්, රුපියල් දෙකක් පමණ දායකයා විසින් තම බැංකු ගිණුම ඔස්සේ මිලදී  gaming site එකේ creater වෙත ගෙවිය යුතුය. යූටියුබ් වල මෙන් නොව Facebook online gaming stream තරු ක්‍රමයේදී වැඩි වශයෙන්  විදේශ විනිමයක් පිටරටට ඇදී යාමත්, පවතින  විදේශ විනිමය අනුපාත වලින් රටට පාඩුවක් සැලකිය යුතු ලෙස සිදු වීමත් නිරීක්ෂණය වේ.

    එනම් ආසන්න වශයෙන් එක තරුවක්  (gaming star) සඳහා ශ්‍රී ලාංකික දායකයෙකු රුපියල් දෙකක් වැය කළත්, විදේශ විනිම අනුපාත හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රතිග්‍රාහකයාට ඊට බෙහෙවින්ම අඩු මුදලක් නැවත ලැබේ. දැඩි විදේශ විනිමය අර්බුදයක් සහ උග්‍ර උද්ධමනයක්  ඇති ශ්‍රී ලංකාවේ online gaming stream stars   හරහා ආදායමක් ඉපදවීමේදී, ශ්‍රී ලංකික දායකයන් බොහෝ සිටින ශ්‍රී ලාංකික ප්‍රතිග්‍රාහකයෙකු ගෙන් ශ්‍රී ලාංකික ආර්ථිකයට සිදු වන්නේ දැඩි හානියකි.  එහෙත් බොහෝ විදේශික දායකයන් සිටින ශ්‍රී ලාංකික ප්‍රතිග්‍රාහකයෙකුගෙන් ශ්‍රී ලාංකික ආර්ථිකයට සිදුවන්නේ  වාසියකි.

    තම අනන්‍ය වූ දක්ෂතාවයන්  මිල කිරීම හරහා ශ්‍රී ලාංකික ආර්ථිකයට දායක වන නිර්මාණ ශිල්පීන්ව අපි හෘදයාංගමව අගය කළ යුතුය. රජය මෙන්ම සමස්ත සමාජයම ඔවුන්ගේ කාර්යභාරයන් වලට ඉතසිතින් නොමසුරුව අත දිය යුතුය.

    අවසාන වශයෙන් යොහානි ගයන ගීතයක් මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමි. සංගීතවේදී රජීව් සෙබස්තියන්, (Rajiv Sebastian) විසින් ‍යොහානි ට ත්‍යාගයක් ලෙස සකසා ලබාදුන් මෙම ගීතය යොහානි නම් වූ දක්ෂ ගායිකාව ලද හොදම සහතිකය යැයි මම සිතමි.

    “කලක් තිස්සෙ දැකපු හීන
    හැබෑ වෙලා පෙර පිනකට
    වේදිකාවේ වැඩ දැම්මට දැන්
    තෝරු මෝරු මැද්දෙ වැටිලා
    හරි හරියට සින්දු කියන
    හුරුබුහුටි හාල්මැස්සා මං”

    අප අතර කොතරම් හුරුබුහුටි හාල්මැස්සො සිටිත් ද, ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීම, සමස්ත සමාජයේ ම වගකීමක් සහ යුතුකමක් ලෙස මම සිතමි.

    මම,
    ආචාර්ය  දිනෙත් සමරවික්‍රම

    #dinethsamarawickrama
    #ManikeMageHithe
    #මැණිකේමගේහිතේ

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.