fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කතරගම ඇසළ මංගල්‍යයේ වැදගත් සිරිත් රැසක් ඉටු වන සයවැනි පෙරහැර දිනය !

    කතරගම ඇසළ මංගල්‍යයේ වැදගත් සිරිත් රැසක් ඉටු වන සයවැනි පෙරහැර දිනය !

    රුවන් වින්ඩ්සර්

    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ පෙරහැර පහක් ගමන් කිරීමෙන් පසු එළැඹෙන සය වැනිදා විශේෂ පෞරාණික චාරිත‍්‍ර කිහිපයක් ම ඉටු කිරීම සිදුවේ.  

      එනම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවස වූ බස්නායක වලව්වේ ගොම මැටි ගා ඇති වරිච්චි බිත්තින් සහිතව සූදානම් කළ සුවිශේෂී කුටියේ එදින දහවල් සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කිරීම සිදු කරයි. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනු ලැබන අතර මේ සඳහා කිරිවෙහෙර රජමහා විහාරාධිපති නාහිමි, කතරගම අභිනවාරාමයේ නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති නාහිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිපති නාහිමි ආදී ප්‍රමුඛ සම්භාවනීය මහා සංඝරත්නය වැඩම වීම සිදු කරයි. ඉන් අනතුරුව එදිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති මහ දේවාලය ඉදිරි පස ඇති කොටසට අලූතින් අතු දමා සකස් කිරීමට සිදු වේ. වසරකට වරක් කරන චාරිත‍්‍රමය කටයුත්තක් වන මෙය ද ඉතා වැදගත් අංගයකි. දේවාලයේ මංගල හස්ති රාජයා වන වාසනා ඇතුළු අලි ඇතුන් විසින් මේ සඳහා අවශ්‍ය මාදම් අතු ගෙන ඒම සිදු කරන අතර මැණික් ග‍‍ඟෙහි අලි ඇතුන් ගිලෙමින් එම අතු සෝදා පිරිසිදු කිරීම සිදු කරයි.

    මේ අයුරින් අතු පන්දලම සකස් කරනු ලබන්නේ අතීතයේ සිදු වූ එක්තරා ඓතිහාසික සිදුවීමක් සිහිපත් කිරීමටය. එදවස කතරගම දෙවිහාමුදුරුවන්ට සම්මුඛ වූ දුටුගැමුණු මහා රජතුමා විසින් තමන්ට රට එක්සේසත් කිරීමට දෙවිහාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබුනහොත් ඒ වෙනුවෙන් රන්උළු මාලිගයක් තනවා දීමට භාර විය. එළාර රජ පැරද වූ මහා සංග්‍රාමයෙන් අනතුරු එම බාරය ඔප්පු කරන තෙක් සන්නාසි වෙසින් සිටි කඳ කුමරුවන්ට රජතුමා සෙබලුන් ලවා තාවකාලිකව කොළ අතු පන්දළමක් ඉදිකර දෙන ලදී.

    මෙදින සිදුවන තවත් වැදගත්ම චාරිත්‍රයක් වනුයේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇද පෙරහරේ ගමන් කරන ආරම්භක දිනය වීමයි. අද පටන් අවසාන මහ පෙරහැර දක්වා බස්නායක නිලමේ තුමන් දේවාභරණ රැගත් ඇතුට පෙරටුව ගමන් කරමින් දෙවිහාමුදුරුන්ගේ දේවාභරණයන් වල ආරක්ෂාව උදෙසා කටයුතු කරයි.  

     දුටුගැමුණු රජු මිය යාමට මත්තෙන් සිය ඇතු වූ කඩොල් යම් දිනෙක මිය ගිය පසු එම දළ යුගල මහා දේවාලයට පූජා කරන ලෙස දසමහා යෝදයන්ට නියෝග කළ අතර පසුව බුත්තල යුදගනාව චෛත්‍යය අසලදී කඩොල් ඇතු මිය ගිය පසු ඔවුන් විසින් එම දළ යුගල මහා දේවාලයට පූජා කරන ලදී. අදත් එම ඓතිහාසික සිදුවීම සිහිපත් වීම පිණිස කඩොල් ඇතාගේ දළ යුගලය මහ දේවාලයේ ඇතුල් මාළිගයෙන් පිටතට මහ කඩතිරය දෙපස ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.

    රුවන් වින්ඩ්සර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.